
ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා (WWV RWP VSV USP ndc psc) සිකුරාදා (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා එක්විය.
දශක තුනක යුද්ධය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දුන් ඒ මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කිරීමට පෙර යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායකවරයා ලෙස සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු රැසක කටයුතු කර තිබේ.
සමගි ජන බලවේගයට එක් වූ ඒ මහතා දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා ලෙස ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස ද පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පියවර ගත්තේය.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය ලැබූ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා පාසල් සමයේ දක්ෂ සහ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු විය. රග්බි, පාපන්දු, මලල ක්‍රීඩා සේම ශිෂ්‍ය භට ක්ෂේත්‍රයෙන් ද දස්කම් පා ඇති ඒ මහතා රග්බි, පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩා සඳහා පාසල් වර්ණ ද හිමි කර ගෙන ඇත.
පාසල් අධ්‍යාපනයෙන් පසු 1984 මාර්තු 04 වැනි දා කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය බලකායට එක් වූ ඒ මහතා දියතලාව හමුදා විද්‍යා පීඨයේ මූලික පුහුණුව ලැබ 1985 නොවැම්බර් මස 16 වැනි දින සන්නාහ සන්නද්ධ බලකායේ දෙවැනි ලුතිනන් වරයකු ලෙස පත්විය.
වසර 35ක් පුරා දිවෙන ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතයේ දී ඔහු අණ දෙන නිලධාරී, මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ලබා ඇත. 4 වැනි සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරි, ත්‍රිකුණාමලයේ නගර අණ දෙන නිලධාරි, 523 පා බල බල සේනාවේ ආඥාපති, සන්නාහ සන්නද්ධ බල සේනාවේ අණ දෙන නිලධාරි සහ 55 පා බල සේනාංකයේ නියෝජ්‍ය සාමාන්‍ය නිලධාරියා ලෙස ද කටයුතු කර තිබේ.
අවසන් මානුෂීය මෙහෙයුමේදී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා 52 වැනි පා බල සේනාංකයේ සහ 64 වැනි පා බල සේනාංකයේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. ඔහුගේ සේවා කාලයේ දී තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ අණ දෙන පාඨමාලාව, පකිස්ථානයේ මධ්‍ය වෘත්තීය පාඨමාලාව, බංග්ලාදේශයේ ආරක්ෂක සේවා සහ මාණ්ඩලික පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ නිලධාරීන්ගේ උසස් පාඨමාලාව සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාල පාඨමාලාව ආදී පාඨමාලා රැසක්ම හදාරා තිබේ.
ඊට අමතරව බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රික සහ විදේශ කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව සහ ඉන්දියාවේ ආරක්ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව ද සම්පූර්ණ කර ඇත. එසේම දර්ශනය විෂය සඳහා ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරා පළමු පන්ති සාමාර්ථයක් ද ලබා ගැනීමට හෙතෙම සමත් විය.
මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා යුද හමුදාවේ පෑ දස්කම් සඳහා වීර වික්‍රම විභූෂණ සහ රණ වික්‍රම පදක්කම ඇතුළුව සම්මාන සහ ප්‍රදානයන් කිහිපයකින් පිදුම් ලැබූවෙකි. ඔහු යුද හමුදාවට කළ සේවය අගයමින් පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වැනි සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිගු සේවා පදක්කම, රිවි රැස ප්‍රචාරක සේවා පදක්කම, 50 වැනි නිදහස් සංවත්සර සැමරුම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම සහ උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම් ඇතුළු පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත.
පාසල් සමයේ සිටම දක්ෂ ක්‍රීඩකයකු වූ ඒ මහතා යුද හමුදාවේදී ක්‍රිකට්, රග්බි සහ පාපන්දු ඇතුළු ක්‍රීඩා රැසක් නියෝජනය කරමින් විශිෂ්ට කුසලතා පෙන්වූ නිසා යුද හමුදා වර්ණ ද දිනා ගැනීමට සමත් විය.
Lanka Newsweek © 2026